අප බයියන් වූයේ කෙසේද?


විචිත්‍ර සංස්කෘතියක් ඇති හවායි දූපත් වැසියන් විශ්වාස කරන්නේ මුල්ම හවායි ජාතිකයා තල්මසෙකුගේ පිට නැගී ආ බවයි. මෙය අමතක වී ගෙන යන ජනප්‍රවාදයකි. ඔහු කොහේ සිට පැමිණියේදැයි ඔවුන් ප්‍රශ්න නොකරයි. පකිස්ලන්තපුර වැසියන් ආරම්භ වන්නේ ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද විජය නම් කුමාරයෙකුගෙන් යයි
 "බයි" ඉතිහාසය කියයි. 

ඉන්දියාවටද වසර 2600 ක් පැරණි ඉතිහාසයක් ඇත. ප්‍රශ්නය වන්නේ විජය නම් කුමාරයෙක් ගැන එහි සඳහනක් නොවීමයි.ඒ තබා සුද්ධෝදන, සිදුහත්, මහමායා,යශෝධරා වැනි චරිතද ඉන්දියන් ඉතිහාස පොත්වල නැතිවීම අරුමයකි. මහ සාගරයේ ඉබාගාතේ පා වී ආ විජය නම් කෙනෙක් අප මී මුත්තා යයි ඉතිහාසඥයන් කීවේ නම් ගැටළුවක් නැත.

විජයගේ පියා සිංහබාහුය. සිංහබාහුගේ පියා තිරිසන් සතෙකි. එනම් සිංහයෙකි. විජයගේ මව සිංහසීවලිය. එනම් සිංහබාහුගේ එක කුස උපන් සොහොයුරියයි.

අප කුඩා පන්ති වලදී උගත් දේ කට පාඩම් කලා මිස සිංහයෙක් සහ මිනිස් ගැහැණියක් සංවාසයෙන් මිනිස් දරුවෙක් බිහිවේද යන්න පෙරළා ප්‍රශ්න නොකලේ අප බයියන් නිසාය. මේ වස විලි ලජ්ජාව වසා ගන්නට පසු කාලය ඒ තිරිසන් සිංහයෙකු නොව සිංහ ගෝත්‍රයට අයත් මිනිසෙක් බව තහවුරු කරන ලදී.

අප කුඩා අවදියේ සිටම ඉගෙන ගෙන ඇත්තේ බොරුය. නැතහොත් අපට උගන්වා ඇත්තේ බොරුය. හත් හැවිරිදි මද්දුම බණ්ඩාරට "අයියණ්ඩිය බිය නොවන්න.. මැරෙන සැටි මම පෙන්වමි" කියා කියන්න පුළුවන් වුනා නම් උපන් විගස සිදුහත් කුමරු නෙළුම් මල් හතක් උඩ ඇවිද්දා කියන එක පුදුමයට කරුණක් නොවන්නේය.