සාගරයක් මැද - අමන රටක් ඇත

                                  

අතීතයේ මෙය  විවිධ නම් වලින් හඳුන්වා ඇත. සාගරයේ මුතු ඇටය, පෙරදිග ධාන්‍යාගාරය, ධර්මද්වීපය ඉන් කිහිපයකි. පකිස්ලන්තයේ වැසියන් පකිස්බූරුවන් ලෙස හැඳින්වේ. තවද "බයියා"යන කෙටි සුරතල් නමින්ද ඔවුන් හැඳින්වේ.
බූරුවා සහ අශ්වයා එකම සත්ව කුලකයට අයත් වුවද  ප්‍රමාණයෙන් හා හැසිරීමෙන් ඔවුන් එකිනෙකාට  වෙනස්ය. අශ්වයා රාජකීය ගරු ගාම්භීර සතෙකි. බූරුවා නිවට නියාලු සතෙකි. බූරුවා කෙතරම් මෝඩදැයි කියා වටහා ගැනීමට කෙටි ජනප්‍රවාදයක් මෙහි ගෙන හැර පාමි.
වෙළෙන්දෙකුට බූරුවෙක් සිටියා. ඔහු ලුණු ගෝනි කීපයක් බූරුවා පිට උඩ තියා ගැට ගසා දියපාරකින් එතෙර වෙමින් සිටියා. හදිසියේ පය පැටලී බූරුවා වතුරට වැටුනා. ආපසු නැගී සිටි විට කලින් තිබුණාට වඩා බර හෑල්ලුවී ඇති බව බූරුවාට තේරුම් ගියා. 
දින කීපයකින් වෙළෙන්දා කපු පුළුන් ගෝනි කීපයක් බූරුවා පිට උඩ තබා බැඳ කලින් දියපාරින්ම එතෙර වෙමින් සිටියා. බූරුවා කලින්දාක වූ සිද්දිය මතක් කොට, බර තවත් හෑල්ලු කර ගැනීමට සිතා.. උවමණාවෙන්ම දියේ ගිලුනා. පුළුන් වලට වතුර උරා ගැනීම නිසා බර දෙගුණ - තෙගුණ වී බූරුවාගේ කොන්ද කැඩී ගියා.
බයියන්, දෙවර්ගයකි. ඒ; ගමේ බයියන් සහ ගොඩේ බයියන් වශයෙනි. රට මැද හිටියත්, නගරයේ හිටියත්, ගමේ හිටියත්, නමට අග්ගිස්සෙන් PhD, MBBS, BA  කියා නා නා විධ පට්ටම් තිබුණත් බයියා , බයියාමය.


මහාචාර්යවරයෙක් තමන්ගේ කොඳු නාරටිය බිඳ ගෙන ඇති ආකාරය

මීට දශක 6 කට පමණ පෙර පකිස්ලන්තයේ උපත ලද මා ද බයියෙකි. මා මගේ "බයි" කමට කැමතිය. මැරෙන තාක් කල් බයියෙකු ලෙස ජීවත්වීම මාගේ ඒකායන ප්‍රාර්තනයයි. බයියා යනු; තමා අවට ලෝකයේ සිදුවන දේ නොදන්නා, දැන ගත්තත් නොදන්නා ලෙසටම සිටින, වෙනස්වන ලෝකය සමඟ update නොවන මිනිසුන් කොට්ඨාශයකි.

බයියාගේ "බයි" කම වඩාත් කැපී පෙනෙනුයේ මැතිවරණ කාලයේදීය. නැතහොත් පාර්ලිමෙන්තුවට නියෝජිතයන් තෝරණ තරඟයකදීය.

" අනේ අපි වෙන කාට දෙන්ටද ? "

" වෙන දෙන්ට හොඳ කෙනෙක් ඉන්නවද?"

" අපි ඉතින් ඉස්සර ඉඳන්ම එයාටනේ"

" අපි කැපුවත් අපේ පාටට.. හරිය..."

පඩයක් ගියත් මාධ්‍ය සාකච්ඡා තියා... වර්ජන- තර්ජන කර, ජන ඝෝෂා කර, පාද යාත්‍රා ගොස්, මාරාන්තික උපවාස කර තම අයිතීන් වෙනුවෙන් , තමනට සිදුවී ඇති අසාධාරණ නොපනත්කම් වෙනුවෙන් කෑ මොර දෙන මේ බයියන්, ඡන්ද පොළ පෙනි පෙනී තම මතය සුටුස් ගා වෙනස් කර මා ඉහත දැක්වූ තර්ක වලටම මුල් තැන දෙයි.

බයියන් වෙනස් නොවන ජාතියකි. පකිස්ලන්තය කියන නම වෙනුවට බයිලන්තය කියනවා නම් වඩාත් පහසුය.
මට මෙහෙම හිතෙන්නේ මා ද බයියෙකු නිසාමය.
පකිස්ලන්තයේ නිල නාමය ගමරාළගේ වංගෙඩිය එහෙම නැත්නම් වෛශ්‍යාවකගේ අහවල් එක වගේය.
"ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී පකිස්ලන්ත ජනරජය" 
ඉංග්‍රීසියෙන් නම්..  Democratic Socialist  Republic of Pakisland.
ලෝකයේ බලවතා හැටියට සැලකෙන ඇමරිකන්කාරයාට ඇත්තේ වසර 300 කටත් අඩු ඉතිහාසයකි. අපට එහෙමද? වසර 2500 කටත් එහ ගිය ලිඛිත ඉතිහාසයක් අපට ඇත.80 % ක සාක්ෂරතාවයක් අපට ඇත.
ඕනෑම ව්‍යසනයකදී අපේ ඉතිහාසයයි.. හැදියාවයි ඉස්සරහට දමා කහපාට නිල ඇඳුම් අඳින අපෙන්ම කැඩී ගොස් වෙනම ජීවත්වන කට්ටිය ලවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරවා ගත්තාම වැඩේ ගොඩය.
බයියන් ඇන්දවීම ඉතා පහසුය. අන්දනවා කියන්නේ රවටනවා කියන තේරුමය. උන් ... බයියෝ.. අපි  1948 සිටන්ම අප බේරා ගන්නට එන දියසෙන් කුමාරයෙක් ගැන හීන මවමින් සිටිමු. 
පකිස්ලන්තයට සුද්දාගෙන් නිදහස ලැබුණේ 1948 දීය.සුද්දා අපට නිදහස දුන්නාද? සුද්දා අපෙන් නිදහස් උනාද ? එය වෙනම ප්‍රශ්නයකි. කොහොම උනත් සුද්දා නිකම්ම යන්න ගියේ නැත. උන් වෙනුවට උන් වගේම හිතන කලු සුද්දන් රැසක් බිහි කොට සුද්දා යන්න ගියේය.