අප උගත් බොරු

අප බොරු ඉගෙන ගන්නේ මෙලොව එළිය දුටුදා පටන්ය. ඒවා අපට උගන්වන්නේ අපේ දෙමාපිය, ගුරුවරුන් සහ පන්සල්-පල්ලිවල පූජකයන්ය.පොඩි කාලයේ කොණ්ඩය කැපීමට ගිය බාබර් සාප්පුවෙ එල්ලා තිබුණු එක පින්තූරයක තිබුණේ සිදුහත් කුමරු , ඡන්න ඇමතියාද කැටුව යොදුන් තිහක් පළල නේරංජනා ගංගාවෙන් එක පිම්මට කන්ථක නම් අසු පන්නන ආකාරයයි. කුමාරයා සමඟ හරි හරියට ඉඳගෙන යාම සුදුසු නොවන නිසාදෝ ඡන්න ඇමතියා කන්තකගේ නැට්ටේ එල්ලි සිටී.
කැලේ ඉන්න නරියා කපටි රජාලු. මිදි පොකුරක් කඩා ගන්න කීප වතාවක් උඩ පැන්න නරියෙක් මේ මිදි ඇඹුල් ඇති  කියල යන්න ගියාලු. එදායින් පස්සෙ තමා නරියා කපටියි කියල අපි දැන ගත්තෙ. ඒත් එක්කම ඉබ්බෙක් අල්ල ගත්තු  නරියෙක් ඌ කන්න ලෑස්ති වෙන කොට ඉබ්බා කීවලු "මගෙ කටුව තදයි... අර ඇලේ ටිකක් වෙලා ඔබා ගෙන හිටියා නම් කටුව බුරුල් වෙයි" කියලා. නරියා ඉබ්බව දියේ දාල කකුලෙන් පාගා ගෙන හිටියලු ඉබ්බ හොරෙන්ම ලිස්සල යයි කියල. "නරියෝ දැන් නම් බුරුල් වෙලා.. ඒත් උඹ පාගා ගෙන ඉන්න තැන තාම තදයි.". නරියා කකුල බුරුල් කලාලු. ඉබ්බා සුරූස් ගාල ලිස්සල ගියාලු.
එක නරියෙක් කපටි උනෙත් අනෙක් නරියා ඉබ්බට රැවටුනෙත් කොහොමද කියල අපි ඇහුවේ නැහැ. පුංචි කාලෙ ඉඳලම ළමා සිත් බොරු වලින් පුරවල.. ඊට පස්සෙ පොඩි උන්ට 5 ශිෂ්‍යත්වයක් ගෙනත් උන්ගේ ළමා කාලය අහිමි කරල "අළුත් අළුත් දෑ නොහදන ජාතිය ලොව නොනගී " කියල කියනවා.
ලෝකෙන් උතුම් රට මේ පකිස්ලන්තයයි.
පකිස් පාසැල්  ළමයින්ගේ සිත් වලට කා වද්දා ඇති තවත් අලි බොරුවකි. මීට වසර 30 , 40 කට පමණ පෙර පවා අප ආසා කලේ කෙසේ හෝ පිටරටකට පැන ගැනීමයි. පකිස්ලන්තයේ ඉහළ පෙලේ රැකියා කළ අය පවා ඇමරිකාව , කැනඩාව වැනි රටවලට ගොස් දුක සේ සැප විඳිති. ඔය කියන විදියට පකිස්ලන්තය ඔච්චර හොඳ නම් එහෙම වෙන්නේ කොහොමද?
සෑම ආගමකම අය දෙවියන් යදින්නේ දෑත් අහසට ඔසවලාය. එනම් දෙවියන් ඉන්නේ උඩය. අහසේය. වළාකුල් අස්සේය. බෞද්ධයනට අනුව ඉහළ අහසේ  දිව්‍ය ලෝක හයක්ද ඊටත් ඈතින් බ්‍රහ්ම ලෝකද පිහිටා ඇත. මෙම දිව්‍ය ලෝකවල ලංකාවේ අය ගැන පමණක් වග බලා ගැනීමට දෙවිවරු තිස්තුන් කෝටියකි. ( 330,000,000) ලංකාවේ මුළු ජනගහණය 22,000,000 කි.
එනම් එකාට දෙවිවරු 15 කි. 15 නොවේ කීයක් හිටියත් වැඩක්යැ..? පල්ලියේ දෙවියන් යදිමින් සිටි එක අහිංසකයෙක්වත් බේරාගැනීමට මුන් එකෙකුටවත් පුළුවන් උනාද ? ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත යයි කිතුණුවන් හිත හදා ගනී. ඒ උන්ගේ කරුමය යයි බෞද්ධයන් කියයි. ඔය හේතු කාරණා දෙකම වෙනස් වන්නට තිබුණාය හොඳ බුද්ධි අංශයක් අපට තිබුණා නම්...