මට මඤ්ඤං ?

ඔන්න බබෝ ඇතින්නියා ගලෙන් ගලට පනින්නියා.බබුට බයේ දුවන්නියා කියමින් පොඩි උන් නලවන අම්මිලා .. බයියං ටික ඔක්කොම කැවෙ නැත්නම් බිල්ලට දෙනවා කියා පොඩි එකා බය කරයි.
මීයෙක් , කැරපොත්තෙක් නොමරන අම්මා පොඩි එකා නොවරදවාම ඉරිදා දහම් පාසලට යවයි.පොඩි එකා  " එළුව මරා අපේ ගෙටයි , ඒ බඩවැල් තොපේ ගෙටයි" කියමින් සෙල්ලම් කරයි.මඤ්ඤං කියන්නේ මේවාටය.
මට මඤ්ඤං
එකදාස් නමසිය හතළිස් ගණන් වල ටයි කෝට් ඇඳ තොප්පියක්ද හිස පැළඳ පයිප්පයක් උරමින් එක් අප්පො කෙනෙක් තම අසුපිට නැග මීරිගම පැත්තෙ ගමනක් ගියේ ලඟ එන ඡන්දෙ ගැන මිනිසුනට කියා දීමටය. 
"මොකද්ද අප්පො ඡන්දෙ කියන්නෙ?" කරේ තිබුණු තුවාය අතට ගෙන එක් බයාදු බලුගැත්තරයෙක් අප්පො ගෙන් විමසීය.
"උඹලට සුදු කඩදාසියක් දෙනවා.. උඹල ඒක දෙකට නමල රතු පෙට්ටියට දානවා..උඹලගෙ අප්පො ඒරොප්පෙට යනවා. ආයෙ කවදාවත් එන්නෙ නෑ"
ගැමියන් විලාප දෙයි. "අනේ අපෙ අප්පො එහෙම වෙන්නෙ නෑ"
"උඹල සුදු කඩදාසිය දෙකට නමල කොළ පෙට්ටියට දානවා.. උඹලගෙ අප්පො කවුන්සලේට යනවා.."
ගැමියන් සතුටින් ඔල්වරසන් දෙයි.
"ඕං ඕකට තමා බොල ඡන්දෙ කියල කියන්නෙ."
එදා සහ මෙදා කියා වැඩි වෙනසක් නැත. සාක්ෂරතාවය කියන්නේ මළපොතේ අකුරු කියවීමට, ටැලිග්‍රෑම් එකක් , ඇඩ්‍රස් එකක් කියවීමට හැකිවීම නොව, රටට ගැලපෙන රටේ ආර්තිකය හදන්න පුළුවන් නායකයෙකු පත් කර ගැනීමට ඇති හැකියාවටය..

"උඹල අවුරුදු හතරක් ආණ්ඩුවට බැනපල්ලා.. ඡන්දෙ කිට්ටු කරල අපි උඹලට ටකරන් තහඩු දෙනවා, ගෙට හෙවිල්ලන්න.. සිල් රෙදි දෙනවා උඹලගෙ අම්මලාට සිල් ගන්න.."  ජයවේවා.. ඡන්දදායකයින් සතුටින් ඔල්වරසන් දෙයි.