බයි -ලොජික්

රටක නීතිය ගින්දර මෙන් විය යුතුය. ගින්දරට සැවොම අඩු-වැඩි නැතිව පිළිස්සේ. දුබලයාද- ප්‍රබලයාද, ධනවතාද-දුගියාද වෙනසක් නැතිව එක විදියටම පිළිස්සෙන බැවිනි.

ඒ කාලයේ රටේ නීතිය හැදුවේ රජතුමාය. අහවල් දින , අහවල් අයගේ හිස ගසා දමනවාය කීවොත් එදාට අහවලාගේ හිස ගසා දැමෙනවාමය.
රජතුමා කිසිවිටෙකත් ඒ දඬුවම reverse කලේවත්  , ලිහිල් කලේවත් නැත. එසේ කලා නම්  මිනිසුන්ගේ සිත් තුල නීතිය ගැන ඇති බිය සහ විශ්වාසය බිඳ වැටෙනවාය.
නීති හැදෙන්නෙ කොහොමද ?
රටක,සමාජයක  සිරිත්-විරිත් කියා දෙයක් ඇත. සිරිත් යනු හොඳ, පිළිපැදිය යුතු දේවල් වන අතර විරිත් යනු බැහැර කළ යුතු දේය.
"පුතේ.. පාරේ යන කොට දකුණු පැත්තෙන් පලයන්"
එයට හේතුවක් ඇත. එනමුත් මා බයියෙක් නිසා , ඒ ඇයි කියා අම්මාගෙන් අසා නැත. එය හොඳ සිරිතකි. දිගු කලක්  භාවිතයෙන් මෙය නීතියක් බවට පත් විය හැකිය.
"පාරේ ගමන් කරන අය දකුණු පැත්තෙන් යා යුතුය. නීතිය කඩන අයට පකිස් රුපියල් 1000 ක් දඩ "
මෙම නීතියම සෑහෙන කලක් භාවිතයෙන් ආගමක් බවට පත්විය හැකිය. ආගම යනු අවවාද සමූහයකි.
"පාරේ දකුණු පැත්තෙන් යන අය දෙව්ලොව උපදී"
පකිස්ලන්තයේ ඇත්තෙ අරුම පුදුම නීතියකි. ඇති එකාට එක නීතියක්. නැති එකාට වෙනම නීතියක්.
පකිස්ලන්තයේ ව්‍යවස්තාවට/නීතියට අනුව කිසිම හේතුවක් නිසා එහි ජනාධිපතිවරයා උසාවියකට කැඳවිය නොහැකිය. විත්තිකරුවෙකු ලෙසටවත් , සාක්ෂිකරුවෙකු ලෙසටවත්.
යම් හෙයකින් ලිංගික බෙලහීනතාවය වැනි හේතුවක් නිසා ආර්යාවට තම ජනාධිපති සැමියාගෙන් දික්කසාද වීමට අවශ්‍ය වුවහොත් ....?
ලෝකයේ බලවතා වන ඇමරිකාවේ හිටපු  ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් උසාවියක සාක්ෂි දෙනවා මා රූපවාහිනියෙන් දැක ඇත.